ඉරාන වරායන් සහ වෙරළබඩ කලාප අවහිර කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති තීරණය “මුහුදු මංකොල්ලකෑමක්” (Act of Piracy) ලෙස හඳුන්වමින් ඉරාන හමුදාව දැඩි විරෝධය පළ කර ඇති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම නියෝගය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ඉරානය පවසයි.
“ආරක්ෂාව සහ පහසුකම් එක්කෝ සැමට හිමි විය යුතුයි, නැතිනම් කාටවත් හිමි නොවිය යුතුයි” (Either for everyone or for no one) යනුවෙන් අවධාරණය කරන ඉරාන ආරක්ෂක අංශ, යම් හෙයකින් ඇමෙරිකාව මෙම අවහිරය ක්‍රියාත්මක කළහොත් කලාපයේ (පර්සියානු ගල්ෆ් සහ ඕමාන් මුහුදේ) පවතින කිසිදු වරායක් ආරක්ෂිත නොවනු ඇති බවට අනතුරු අඟවා තිබේ.
ඉස්ලාමාබාද්හි පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඇමෙරිකාව මෙම දැඩි තීරණය ගෙන ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සතු බැවින් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව ඉරානය පවසයි. මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල දැනටමත් ඉහළ ගොස් ඇති අතර කලාපය තුළ දැඩි යුධමය උණුසුමක් වර්ධනය වෙමින් පවතී.














