ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන පර්සියානු බොක්කෙහි පිහිටි ‘South Pars/North Dome Gas-Condensate field’ සංකීර්ණයේ ඉරානය සතු ‘South Pars’ ප්‍රදේශයට ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය මෙම ප්‍රහාරය තහවුරු කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රහාරයත් සමඟ අදාළ ප්‍රදේශය දැවැන්ත ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි. වර්ග කිලෝමීටර් 9,700ක සමස්ත භූමි ප්‍රමාණයකින් යුත් මෙම ගෑස් නිධිය කටාර් රාජ්‍යය සහ ඉරානය විසින් ඒකාබද්ධව පාලනය කරනු ලබන අතර ඉන් වර්ග කිලෝමීටර් 3,700ක ප්‍රමාණයක් ඉරානයට අයත් වේ.
ඉතිරි වර්ග කිලෝමීටර් 6,000ක භූමි ප්‍රමාණය කටාරය සතු වන අතර, ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් 80%ක්ම උපයා ගනු ලබන්නේ මෙම සුවිශේෂී ගෑස් ප්‍රභවයෙනි. මේ වසර මුලදී පමණක් කටාර් රාජ්‍යය මෙම ප්‍රදේශයෙන් දිනකට ස්වාභාවික ගෑස් ඝන අඩි බිලියන 18.5ක් නිෂ්පාදනය කර ඇති අතර ඉරානය දෛනිකව ඝන අඩි බිලියන 2ක නිෂ්පාදනයක් සිදු කර තිබේ. කෙසේ වෙතත්, බටහිර සම්බාධක හමුවේ ඉරානය හුදකලා වීම සහ එරට පවතින දුර්වල කළමනාකරණය හේතුවෙන් ඔවුන්ට සිය උපරිම නිෂ්පාදන ධාරිතාව වෙත ළඟා වීමට නොහැකි වී ඇති පසුබිමක කටාරය සිය වෙළඳපොළ තවදුරටත් පුළුල් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව තිබේ. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙවැනි බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කිරීම ලෝක වෙළඳපොළේ ගෑස් මිල තවදුරටත් ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















