ඉරාන හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළඳ ජාලයට දැඩි බලපෑම් එල්ල කරමින් නෞකා 3,200කට අධික සංඛ්‍යාවක් ඒ අවට මුහුදු තීරයේ සිරවී ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) අද (මාර්තු 19) නිවේදනය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ එල්ල වන ප්‍රහාර හේතුවෙන් මෙම අර්බුදය උග්‍ර වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සිරවී ඇති මෙම නෞකාවල නාවිකයින් 20,000ක් පමණ රැඳී සිටින අතර පර්සියානු ගල්ෆ් කලාපය පුරා වෙළඳ නෞකාවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හේතුවෙන් මේ වන විටත් පුද්ගල මරණ සහ තුවාල ලැබීම් කිහිපයක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
ලෝකයේ බලශක්ති සැපයුමෙන් සහ වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන මෙම මුහුදු මාර්ගය අවහිර වීම ගෝලීය ආර්ථිකයට එල්ල වූ මාරක පහරක් ලෙස සැලකේ. මෙම බාධාවන් හේතුවෙන් යුරෝපය සහ ආසියාව අතර සිදුවන භාණ්ඩ හුවමාරුව සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ද ඉහළ ගොස් තිබේ.














