සෞදි අරාබියේ අල් කර්ජ් ප්‍රදේශයේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය අද (28) වාර්තා කරයි. තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු තහවුරු කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, දෙපාර්ශ්වය අතර පවතින සන්නද්ධ ගැටුම් උච්ච අවස්ථාවකට පත්ව ඇත.
පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම ගැටුම්කාරී තත්ත්වය තුළ මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සමස්ත අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. ඉන් 273 දෙනෙකු ප්‍රතිකාර ලබා යළි සේවයට වාර්තා කර ඇති අතර, අවාසනාවන්ත ලෙස අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට මෙම ගැටුම් හමුවේ සිය ජීවිත අහිමි වී ඇති බව ද නිල වාර්තා පෙන්වා දෙයි. මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම් මාර්ග සහ උපායමාර්ගික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් සිදුවන මෙම ප්‍රහාර මාලාව ලෝක වෙළඳපොළට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.














