මැදපෙරදිග නවතම යුද වාතාවරණය හමුවේ ගල්ෆ් කලාපීය රටවල් දැඩි අනතුරකට සහ අර්බුදයකට මුහුණ දී සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් සිය අසල්වැසි අරාබි රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබෙනවා. මෙම ප්‍රහාර මගින් අරාබි රටවල පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු පමණක් නොව සිවිල් වැසියන් වෙසෙන ප්‍රදේශ සහ බලශක්ති යටිතල පහසුකම් ද ඉලක්ක කර ඇති අතර ඩුබායිහි ජෙබෙල් අලි වරාය වැනි වැදගත් මධ්‍යස්ථානවලට ද මෙයින් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාජෙඩ් අල් අන්සාරි පවසන පරිදි මේ වන විටත් ඉරානය විසින් සියලු රාජ්‍යතාන්ත්‍රික රතු ඉරි ඉක්මවා ගොස් ඇති අතර තවදුරටත් මෙවැනි ප්‍රහාරයන්ට නිහඬව සිටිය නොහැකි බව ඔවුන් අවධාරණය කරනවා. ගල්ෆ් කලාපයේ පවතින ආරක්ෂිත සහ සෞභාග්‍යමත් මධ්‍යස්ථානයක් ලෙස වන ප්‍රතිරූපයට මෙමගින් දැඩි පහරක් එල්ල වී ඇති අතර සංචාරක, මූල්‍ය සහ තෙල් කර්මාන්තය කෙරෙහි ද මෙහි අහිතකර බලපෑම් එල්ල වී තිබෙනවා. තමන් කිසිසේත් අපේක්ෂා නොකළ මෙම යුද්ධයට මැදිව සිටින අරාබි රජයන් පවසන්නේ තම ස්වෛරීභාවයට එල්ල වන මෙම නිරන්තර තර්ජනයන්ට එරෙහිව ඕනෑම ආකාරයක ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමේ අයිතිය තමන් සතු බවයි.
















