ලෝකයේ බලශක්ති ප්‍රවාහනයේ තීරණාත්මක මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සිය අවසරයකින් තොරව භාවිතා කරන ඕනෑම නෞකාවක් ඉලක්ක කර විනාශ කරන බවට ඉරානය අද අතිශය භයානක අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක පවතින පසුබිමක, මෙම සමුද්‍ර සන්ධිය නිල වශයෙන් “වසා දමා ඇති” බව ද ඉරාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. ටෙහෙරාන් සහ කරාජ් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාර මෙන්ම ජනාධිපති ට්‍රම්ප්ගේ නව රාජ්‍ය තාන්ත්‍රික පීඩනයන් හමුවේ ඉරානය ගත් මෙම දැඩි තීරණය, ගෝලීය තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමටත් ලෝක වෙළඳපොළ දැඩි අර්බුදයකට ඇද දැමීමටත් සෘජුවම බලපානු ඇත.
මෙම තීරණයත් සමඟ ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ග රැසක් අවහිර වී ඇති අතර, ශ්‍රී ලංකාව වැනි රටවලට ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනය කරන නෞකාවලට ද මෙය දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනටමත් මෙරට ඩීසල් මිල ඉහළ දමා ඇති පසුබිමක, හෝමුස් සමුද්‍ර සන්ධිය මෙලෙස වසා දැමීම හේතුවෙන් ඉදිරියේදී බලශක්ති පිරිවැය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී. අමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් මෙම අවහිරය ඉවත් කිරීමට උත්සාහ කළහොත්, එය මහා පරිමාණ ගෝලීය යුද්ධයකට මගපාදනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති. කුවේට් එයාවේස් වැනි ගුවන් සමාගම් සිය මෙහෙයුම් යළි ඇරඹීමට සූදානම් වන මොහොතක, නාවික මාර්ග මෙලෙස වසා දැමීම කලාපීය ආර්ථික ස්ථාවරත්වයට එල්ල වූ මරු පහරකි.














