පසුගිය පෙබරවාරි අග භාගයේ ආරම්භ වූ දරුණු යුදමය වාතාවරණය හමුවේ අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ විශ්වවිද්‍යාල 30කට අධික සංඛ්‍යාවක් සෘජු ප්‍රහාරවලට ලක්ව ඇති බව ඉරාන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය හොසේන් සිමායි සරාෆ් මහතා තහවුරු කරයි. ඉරානයේ උසස් අධ්‍යාපන ආයතන සහ පර්යේෂණ මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් සරසවි පද්ධතියට අතිවිශාල දේපළ හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම පසුගිය සිකුරාදා ටෙහෙරාන් නුවර පිහිටි ෂාහිඩ් බෙහෙෂ්ටි විශ්වවිද්‍යාලයට එල්ල වූ ප්‍රහාරය දේශපාලන හා මානුෂීය වශයෙන් දැඩි කතාබහට ලක්ව තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්වලට අදාළ පර්යේෂණ කටයුතු මෙම සරසවි පරිශ්‍රයන් තුළ සිදුවන බවට ලද තොරතුරු මත මෙම ප්‍රහාර දියත් කළ බවයි. කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ විශ්වවිද්‍යාල ඉලක්ක කිරීම හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ විද්‍යාත්මක හා බුද්ධිමය ප්‍රගමනය අඩාල කිරීමට උත්සාහ කරන බවයි. මෙම ප්‍රහාරවලින් සරසවි ආචාර්යවරුන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පර්යේෂණ මධ්‍යස්ථාන රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ද ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින අර්බුදය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදුන් අවසන් නිවේදනයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සිය අවධානය යොමු කළ යුතු බව ඉරාන රජය අවධාරණය කරයි. යුද්ධයේ 36 වැනි දිනය වන අද වන විටත් ඉරානයේ ප්‍රධාන නගර රැසක යටිතල පහසුකම් පද්ධතියට අමෙරිකා-ඊශ්‍රායල හවුල්කාරීත්වයෙන් දැඩි ප්‍රහාර එල්ල වෙමින් පවතින අතර, මෙවැනි ප්‍රහාර රටක් “ගල් යුගයට” ඇද දැමීමට සමාන බව දේශපාලන විචාරකයෝ පවසති.














