අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි අනතුරු ඇඟවීම් හමුවේ ඉරානය සහ අමෙරිකාව අතර සති දෙකක තාවකාලික සටන් විරාමයකට එකඟතාව පළ වී ඇති පසුබිමක, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ කළමනාකරණය නව අදියරකට ගෙන යන බව ප්‍රකාශ කර තිබේ. ඊයේ (09) ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ඉරානය යුද්ධයක් අපේක්ෂා නොකරන නමුත් තම රටේ අයිතිවාසිකම් කිසිසේත් පාවා නොදෙන බවයි. සියලුම ප්‍රතිරෝධී පෙරමුණු (resistance fronts) එකම ඒකකයක් ලෙස සලකන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම සටන් විරාමය සාම සාකච්ඡා සඳහා මග පාදන්නක් වුවද, ඉරාන වැසියන් මහමගට බැස සිය විරෝධය දැක්වීම නතර නොකළ යුතු බව ඛමේනි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. සාකච්ඡා මේසය තුළ ඉරානයට වාසිදායක තීරණ ලබා ගැනීමට ජනතාවගේ හඬ සහ ඔවුන් පොදු ස්ථානවල පෙනී සිටීම තීරණාත්මක බලපෑමක් සිදු කරන බව ඔහු පෙන්වා දුන්නේය. සටන් විරාමය පැවතියද ඉරානය සිය ස්ථාවරය වෙනස් නොකරන බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය වැනි උපායමාර්ගික ස්ථාන සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
















