ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානය සිය ප්‍රතිප්‍රහාර දැඩි කරමින් සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ තානාපති කාර්යාල පරිශ්‍රයේ ගින්නක් හටගෙන ඇති අතර, කුවේට් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ද මේ වන විට වසා දමා ඇත. පවතින අතිශය අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කුවේට්, බහරේන්, ඉරාකය, කටාර්, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අත්‍යවශ්‍ය නොවන ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට වහාම එම රටවලින් ඉවත් වන ලෙස වොෂින්ටනය නියෝග කර තිබේ.
යුද්ධයේ සිව්වන දිනය වන අද වන විට ඊශ්‍රායල ගොඩබිම් හමුදා ලෙබනනයට ඇතුළු වී ඇති අතර ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ නටාන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කරමින් දරුණු ගුවන් ප්‍රහාර එල්ල වෙමින් පවතී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ මෙම මෙහෙයුම් සති හතරක් හෝ පහක් පැවතිය හැකි බවත්, අවශ්‍ය වුවහොත් ඊට වඩා වැඩි කාලයක් සටන් කිරීමට ඇමරිකාව සූදානම් බවත්ය. මේ දක්වා සිදුවූ ප්‍රහාරවලින් ඉරානයේ 787 දෙනෙකු මියගොස් ඇති අතර ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට පියවර ගැනීම නිසා ලෝක වෙළඳපොළේ ඉන්ධන සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.














