ඉරානය සතුව න්‍යෂ්ටික අවි නොමැති බව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ තාක්ෂණික යෝජනාවලිය ඇමෙරිකානු සාකච්ඡාකරුවන් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි අඩංගු තාක්ෂණික කරුණු වටහා ගැනීමට ඔවුන් අපොහොසත් වීම නිසා බව ඉරාන විදේශ අමාත්‍ය සයීඩ් අබ්බාස් අරග්චි (Seyed Abbas Araghchi) අද ප්‍රකාශ කළේය. සැබෑ දැනුම ඉතා වැදගත් බවත්, ඇමෙරිකානු පාර්ශ්වය තාක්ෂණික විස්තර ග්‍රහණය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම වැදගත් යෝජනාව ඉවත දැමූ බවත් ඔහු සිය X ගිණුම හරහා අවධාරණය කර ඇත.
පවතින යුදමය වාතාවරණය තුළ ඉහළ යන තෙල් මිල සහ පනවා ඇති බදු මගින් ඇමෙරිකානු රජයට ආර්ථික වාසි සැලසෙන බවට පවතින තර්කය ද අරග්චි මෙහිදී බැහැර කළේය. ඔහු පෙන්වා දෙන්නේ ඉහළ යන බලශක්ති මිල මගින් මහා පරිමාණ සමාගම් පොහොසත් වන අතර සාමාන්‍ය ඇමෙරිකානු වැසියන් දැඩි පීඩනයකට ලක්වන බවයි. මේ අතර, ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලාරිජානි (Ali Larijani) පවසා ඇත්තේ ට්විටර් පණිවිඩ කිහිපයකින් යුද්ධයක් ජයගත නොහැකි බවත්, ඇමෙරිකාව සිදුකළ මෙම බරපතල වැරදි ගණනය කිරීම පිළිබඳව ඔවුන් ලවා පසුතැවිලි කරවන තෙක් තමන් පසුබට නොවන බවත්ය.
ඉරානයේ විදුලිබල පද්ධතිය පැයකින් විනාශ කළ හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ද ලාරිජානි දැඩි ප්‍රතිචාර දැක්වීය. ඔහු අනතුරු ඇඟවූයේ ඇමෙරිකාව එවැනි පියවරක් ගතහොත් මුළු මැදපෙරදිග කලාපයම පැය භාගයක් ඇතුළත අඳුරේ ගිලෙනු ඇති බවත්, එම අන්ධකාරය තුළ ආරක්ෂාව පතා දුවන ඇමෙරිකානු සෙබළුන් ඉලක්ක කර ගැනීමට තමන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත්ය. කෙසේ වෙතත්, ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඉරානය සමඟ පවතින තත්ත්වය ඉතා වේගයෙන් ඇමෙරිකාවට වාසිදායක ලෙස ඉදිරියට යන බවත්, ඇමෙරිකානු හමුදා බලය ලොව අසමසම බවත්ය.














