ඇමෙරිකා සහ ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා මෙහෙයුම් හේතුවෙන් මේ වන විට ඉරාන වැසියන් මිලියන 3.2කට අධික පිරිසක් සිය වාසස්ථාන අතහැර අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) නිවේදනය කරයි. මෙය වර්තමාන යුදමය වාතාවරණය තුළ වාර්තා වූ ඉහළම අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ලෙස සැලකේ.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී අයාකි ඉටෝ මහතා සඳහන් කර ඇත්තේ, දරුණු ප්‍රහාර එල්ල වන තෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවලින් ආරක්ෂාව පතා ජනතාව විශාල වශයෙන් ඉවත් වෙමින් පවතින බවයි. මෙලෙස අවතැන් වන පිරිස් ප්‍රධාන වශයෙන් ඉරානයේ උතුරු ප්‍රදේශ සහ ආරක්ෂිත ග්‍රාමීය කලාප වෙත සංක්‍රමණය වෙමින් පවතින බව ද වාර්තා වේ.
දැනටමත් ළමුන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර ඇති පසුබිමක, මෙම දැවැන්ත ජන සංක්‍රමණය හේතුවෙන් දැඩි මානුෂීය අර්බුදයක් මතු වී තිබේ. අවතැන් වූ පිරිස් සඳහා අවශ්‍ය ආහාර, ඖෂධ සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම මේ වන විට ජාත්‍යන්තර සහන සංවිධාන හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි.













