මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ පාසල් දරුවන් සහ ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් එරට පාසල් 120කට පමණ දැඩි හානි සිදුව ඇති බවයි. ටෙහෙරාන නගරයේ සංකේතයක් බඳු වූ ‘ආසඩි’ (Azadi) කුලුනට ද මෙම ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත උපුටා දක්වමින් IRNA ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ, ප්‍රහාරවලින් සිසුන් සහ ගුරුවරුන් 161 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඉරාන රතු අඩසඳ සංගමයට අනුව පුද්ගලයන් 42,914 දෙනෙකුට අයත් දේපළ විනාශ වී ඇති අතර, ඒ අතර නිවාස 36,489ක් සහ වාණිජ ගොඩනැගිලි 6,179ක් ඇතුළත් වේ. මෙලෙස විනාශ වූ ගොඩනැගිලිවලින් 10,000ක්ම ටෙහෙරාන් අගනුවර පිහිටා තිබීම විශේෂත්වයකි.
මීට අමතරව, රට පුරා පිහිටි රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ හදිසි ප්‍රතිකාර ඒකක 160කට වැඩි ප්‍රමාණයකට ද මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. යුද්ධයේ දරුණු බලපෑම හේතුවෙන් ඉරානයේ සිවිල් ජනජීවිතය සහ යටිතල පහසුකම් පද්ධතිය මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව තිබේ.














