ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර හරහා පවතින සටන් විරාම ගිවිසුම් බරපතල ලෙස උල්ලංඝනය වන බව පවසමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඊශ්‍රායලයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඊශ්‍රායල හමුදාව ලෙබනනයට ගුවන් ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් එල්ල කිරීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇති අතර, ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ප්‍රහාර අඛණ්ඩව සිදුවන්නේ නම් සාකච්ඡා පැවැත්වීම අර්ථ විරහිත බවයි. තවමත් ඉරානයේ දෑත් “ට්‍රිගරය මත පවතින බව” පවසමින් ඔහු ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය දැඩි දෝෂාරෝපණයට ලක් කළේය.
මේ අතර ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් ද ප්‍රකාශ කළේ සටන් විරාමය උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඊශ්‍රායලයට දැඩි පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට තම රට පසුබට නොවන බවයි. මෙම ප්‍රකාශයන් සමඟ මැදපෙරදිග කලාපීය සාමය යළිත් බරපතල අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














