ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය එක්ව ඉරාන ඉස්ලාමීය ජනරජයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට උත්සාහ කළහොත්, ඊශ්‍රායලයේ පිහිටි ඩිමෝනා (Dimona) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ඉරාන හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් එරට අර්ධ රාජ්‍ය පුවත් සේවයක් වන ISNA පුවත් ඒජන්සිය බදාදා දින මෙම තොරතුරු වාර්තා කර ඇත.
ඉරානය අවධාරණය කරන්නේ තම රටේ ස්වෛරීභාවයට හෝ දේශපාලන ස්ථාවරත්වයට එරෙහිව එල්ල වන ඕනෑම බාහිර මැදිහත්වීමකට සමාව නොදෙන බවයි. මැදපෙරදිග කලාපයේ පවතින අතිශය උණුසුම් යුදමය වාතාවරණය හමුවේ ඉරානය විසින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශය ලෝක බලවතුන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, මෙය කලාපීය ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු කර තිබේ.
විශේෂයෙන්ම ඉරාන උත්තරීතර නායකයාගේ මරණය සහ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සිදුවූ නෞකා ප්‍රහාරය වැනි සිදුවීම් මාලාවකින් පසු ඉරානය මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම තත්ත්වය තවත් දරුණු අතට හැරීමක් ලෙස දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














