ඉරානය “ගල් යුගයට” (Stone Ages) ඇද දැමීමට ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව “ඉතා දරුණු සහ වඩාත් විනාශකාරී” ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අද (03) අනතුරු ඇඟවීය. ඇමරිකාව සහ ඊශ්‍රායලය “සදාකාලික පසුතැවිල්ලට සහ යටත් වීමට” මුහුණ දෙන තෙක් ඉරානය සිය සටන අත්නොහරින බව ඉරාන ඛාටම් අල්-අන්බියා (Khatam al-Anbiya) මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆකාරි (Ebrahim Zolfaqari) සඳහන් කළේය.
ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, ඉරානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් ඔවුන්ව ගල් යුගයට ඇද දමන බවට දැඩි තර්ජනයක් එල්ල කර තිබුණි. ඉන් අනතුරුව ඉරාන Tasnim පුවත් සේවය වාර්තා කළේ, ඉරානය සිය හමුදා මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් සතුරන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් වන බවයි.
දෙපාර්ශවයම සිය ප්‍රහාරක විලාසය දැඩි කර ඇති පසුබිමක, මැදපෙරදිග කලාපය තුළ පවතින යුදමය වාතාවරණය ඕනෑම මොහොතක මහා විනාශයක් දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති. ලෝක බලශක්ති සැපයුමට සහ ගෝලීය ආර්ථිකයට මෙම ගැටුමෙන් එල්ල විය හැකි බලපෑම පිළිබඳව ලෝක ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවේ.














