ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරවලින් පසු නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ඉරාන තානාපතිවරයා අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. පෙබරවාරි 28 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. එහිදී ඉරාන තානාපති අමීර් සයිඩ් ඉරවානි (Amir Saeid Iravani) ප්‍රකාශ කළේ අමෙරිකානු නියෝජිතයාට පැවසීමට තමන්ට ඇත්තේ “එකම එක වචනයක්” පමණක් බවයි.
“මම අමෙරිකානු නියෝජිතයාට උපදෙස් දෙනවා විනීත (Polite) වන්න කියා. එය ඔබටත් ඔබ නියෝජනය කරන රටටත් යහපත් වනු ඇති,” යනුවෙන් ඉරවානි මහතා එහිදී අවධාරණය කළේය. මෙයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු තානාපති මයික් වෝල්ස් (Mike Walz) කියා සිටියේ දස දහස් ගණනින් සිය ජනතාව ඝාතනය කරන පාලන තන්ත්‍රයක් නියෝජනය කරන පුද්ගලයෙකුට පිළිතුරු දී තම කාලය නාස්ති කිරීමට සූදානම් නැති බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ගත් මෙම හදිසි මිලිටරි ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට ඉරානය චෝදනා කරයි.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර ඇත්තේ කමේනිගේ මරණය වෙනුවෙන් පළිගැනීම තම රටේ “නීත්‍යානුකූල අයිතියක් සහ වගකීමක්” බවයි. මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස හඳුන්වන ඉරානය, අමෙරිකාවට එරෙහිව තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සපථ කර තිබේ. 1989 වසරේ සිට ඉරානය පාලනය කළ කමේනිගේ නික්මයාමත් සමඟ ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව මේ වන විට ඉතිහාසයේ දරුණුතම දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියි.














