ඉරානය කිසිදු තර්ජනයකට හිස නමා යටත් නොවන බව එරට ඉහළ පෙළේ නායකයින් ප්‍රකාශ කර තිබේ. පකිස්ථානයේ පැවැති සාකච්ඡාවලදී දෙරට එකඟතාවයකට පැමිණීමට ඉතා ආසන්නව සිටියද, ඇමරිකාව විසින් පනවන ලද දැඩි කොන්දේසි සහ බාධාවන් හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගිය බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්ජන විවේචනය කරමින් පවසා සිටියේ ඉරානය කිසිසේත් යටත් නොවන බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට ජනපති ට්‍රම්ප් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, එවැනි ක්‍රියාවක් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත් ඇමරිකාවට එම ඉහළ මිල ගණන් දරා ගැනීමට සිදුවනු ඇති බවත්ය.
මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වෙත පිවිසෙන හෝ ඉන් පිටවන ඕනෑම නෞකාවක් අවහිර කරන බවට ඇමරිකාව කළ තර්ජනය හමුවේ ඉරාන නාවික හමුදාව ද දැඩි ස්ථාවරයක පසුවේ. එම මුහුදු සීමාවට ප්‍රවේශ වන ඕනෑම යුද නෞකාවකට එරෙහිව ඉතා දැඩි ලෙස ක්‍රියා කරන බවට ඉරාන නාවික බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම තවදුරටත් වර්ධනය වී ඇත.

















