අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුමට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් කුවේට් රාජ්‍යයේ එක් පුද්ගලයෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (01) තහවුරු කළේය. කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය අබ්දුල්ලා අල්-සනාද් මහතා පැවසුවේ තුවාල ලැබූ 32 දෙනාම විදේශිකයන් වන අතර, ඔවුන් පපුවේ, හිසේ සහ උදර ප්‍රදේශයේ බරපතල තුවාල ලබා ජබර් අල්-අහමඩ් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
මේ අතර, ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්න බෙයිට් ෂෙමේෂ් (Beit Shemesh) නගරයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ සෘජු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙය ඉරාන ප්‍රතිප්‍රහාර ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය තුළ වාර්තා වූ මාරාන්තිකම සිදුවීම ලෙස සැලකේ. ප්‍රහාරයෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, මිසයිල වැදීමෙන් අදාළ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඊශ්‍රායල සහන සේවා වාර්තා කරයි.
ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති මගින් ඉරාන මිසයිල බොහොමයක් විනාශ කිරීමට සමත් වුවද, සෑම මිසයිලයක්ම වැළැක්වීමේ හැකියාවක් නොමැති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) මහජනතාවට අනතුරු අඟවා ඇත. දැනට කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා සහ වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති අතර, ප්‍රදේශය පුරා තවමත් දුමාරය සහ ගිනිදැල් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














