ඉරාන යුද නෞකාවක දිවි ගලවා ගත් පිරිසට සහය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානුෂීය නීතියට (International Humanitarian Law) අනුකූලව කටයුතු කර ඇති බව ඇමරිකානු ඉන්දු-පැසිෆික් විධානය (US Indo-Pacific Command) පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, එම නෞකාව නිරායුධව තිබූ බවට කෙරෙන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන ඇමරිකානු පාර්ශ්වය අවධාරණය කරන්නේ වලංගු මිලිටරි ඉලක්ක විනාශ කිරීමට තමන්ට නීතිමය බලය පවතින බවයි.
පසුගිය මාර්තු 04 වැනිදා ගාල්ලට ඔබ්බෙන් නාවික සැතපුම් 40ක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළදී IRIS Dena නමැති ඉරාන නෞකාව ඇමරිකානු සබ්මැරීනයකින් එල්ල කළ ටොපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමනු ලැබීය. මීට අමතරව, කාර්මික දෝෂයකට ලක්වූ IRIS Bushehr නෞකාව සහ එහි සිටි නාවිකයන් 204 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාරයේ පසුවන අතර, ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටිති. එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) අනුකූලව මෙම පිරිස සම්බන්ධයෙන් කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.














