ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) ඉලක්ක කර කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළහොත් අමෙරිකාවට පෙර නොවූ විරූ මට්ටමේ “දරුණු පළිගැනීමකට” මුහුණ දීමට සිදුවන බව රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාලි (Kazem Jalali) අනතුරු අඟවයි. රුසියාවේ ‘ස්පුට්නික්’ මාධ්‍ය ජාලය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
පසුගියදා ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වීමෙන් පසු සමස්ත ඉරාන වැසියන් දැඩි කෝපයකින් පසුවන බවත්, ඔවුන් මේ වන විටත් අමෙරිකාවෙන් “ලේ පළිගැනීමක්” අපේක්ෂා කරන බවත් තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මොජ්තාබා කමේනි සිය පියාගේ අඩිපාරේ යමින් රට මෙහෙයවීමට සූදානම් වන පසුබිමක, ඔහුගේ ආරක්ෂාවට බාධා වන ඕනෑම ක්‍රියාවක් ලෝක යුද්ධයකට මාවත විවර කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.














