ඉරාන රජයේ ප්‍රබල චරිතයක් වන ආයතුල්ලා අහමඩ් ජන්නාතිගේ සහෝදරයා මෙන්ම හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ සමීපතම හිතවතෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ජන්නාති (Ayatollah Mohammad Taqi Jannati) ඝාතනය කර ඇති බව ඉරාන විපක්ෂ කණ්ඩායම් වාර්තා කර තිබේ. ඉරානයේ ශුද්ධ වූ නගරයක් ලෙස සැලකෙන කුම් (Qom) නගරයේදී එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ඝාතනය ඉරාන පාලන තන්ත්‍රයට එල්ල වූ තවත් ප්‍රබල පසුබෑමක් ලෙස සැලකෙන අතර, විශේෂයෙන්ම නව උත්තරීතර නායක මොජ්තබා කමේනි පාලනය භාරගෙන දින කිහිපයක් ඇතුළත මෙවැනි ඉහළ පෙළේ පුද්ගලයෙකු ඉලක්ක වීම ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව ඇත. ආයතුල්ලා අහමඩ් ජන්නාති ඉරානයේ ව්‍යවස්ථාදායකය පරීක්ෂා කරන “Guardian Council” හි ප්‍රධානියා ලෙස කටයුතු කරන බැවින්, ඔහුගේ සහෝදරයා ඉලක්ක කිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට ද සැක කෙරේ.
පසුගිය පෙබරවාරි 28 වනදා සිට ඉරානය පුරා පවතින යුදමය වාතාවරණය සහ අභ්‍යන්තර නොසන්සුන්තාවය හමුවේ මෙවැනි ඝාතන සිදුවීම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී තිබේ. විපක්ෂ කණ්ඩායම් පවසන්නේ පාලන තන්ත්‍රයේ ප්‍රබලයන් එකින් එක ඉලක්ක කිරීම හරහා රජය දුර්වල කිරීමට තමන් උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර කුම් නගරයේ ආරක්ෂාව මේ වන විට දැඩි කර ඇත.
උපුටා ගැනීම: @RealBababanaras














