ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකා සහ්රා ගන්බාරි ඇතුළු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට එරට රජය විසින් අද (10) උදෑසන නිල වශයෙන් දේශපාලන රැකවරණය (Asylum) ලබා දී තිබේ. ඉරානය තුළ පවතින යුදමය සහ දේශපාලනික වාතාවරණය හමුවේ නැවත සිය රට බලා නොගොස් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට මෙම ක්‍රීඩිකාවන් ගත් තීරණයට එරට රජයේ අනුමැතිය හිමිව ඇත.
මෙම ක්‍රීඩිකාවන් පිරිසට ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම A-League කාන්තා පාපන්දු සමාජයක් සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට ද දැනටමත් ආරාධනා ලැබී තිබේ. කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය තවදුරටත් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් (Gold Coast) හි පිහිටි හෝටලයේ රැඳී සිටින අතර, ඔවුන්ට ද නීතිමය උපදෙස් ලබා දීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමට මානව හිමිකම් ක්‍රියාකාරීන් කටයුතු කරමින් සිටී.
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් මහතා ප්‍රකාශ කළේ රැකවරණය හිමි වූ පුවත ඇසීමත් සමඟ ක්‍රීඩිකාවන් පිරිස මහත් ප්‍රීතියට පත්වූ බවයි. කෙසේ වෙතත්, ඉතිරි ක්‍රීඩිකාවන් තවදුරටත් දැඩි නිරීක්ෂණයට ලක්ව ඇති බැවින් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම තරමක් සංකීර්ණ වී ඇති බව වාර්තා වේ. ඉදිරි දින කිහිපය තුළ කණ්ඩායමේ තවත් සාමාජිකයින් පිරිසක් දේශපාලන රැකවරණය පතා අයදුම් කරනු ඇතැයි ක්‍රියාකාරීහු අපේක්ෂා කරති.














