ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ සති දෙකක තාවකාලික සටන් විරාමයත් සමඟ මාසයකට අධික කාලයක් වසා දමා තිබූ ඉරාක ගුවන් සීමාව සහ ප්‍රධාන ගුවන් තොටුපළවල් යළි විවෘත කර තිබේ. FlightRadar24 දත්තවලට අනුව, භගඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BGW) වෙත සහ ඉන් පිටතට වාණිජ ගුවන් ගමන් සීමිත මට්ටමින් මෙහෙයවීම දැනටමත් ආරම්භ වී ඇත.
පෙබරවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වූ මෙම ගුවන් සීමා අවහිරය හේතුවෙන් යුරෝපය සහ ආසියාව අතර පියාසර කරන ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසකට සිය ගමන් මාර්ග වෙනස් කිරීමට සිදු වූ අතර, එමඟින් විශාල ඉන්ධන පිරිවැයක් දැරීමට ද සිදු විය. ඉරාක සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ දැනට පවතින සාමකාමී වාතාවරණය මත මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, දැනට ප්‍රධාන වශයෙන් ‘Iraqi Airways’ ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, Emirates සහ Qatar Airways වැනි ජාත්‍යන්තර ගුවන් සමාගම් සිය මෙහෙයුම් යළි ආරම්භ කිරීමට පෙර ආරක්ෂක තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටියි.
ඉස්ලාමාබාද්හිදී හෙට ආරම්භ වීමට නියමිත සාම සාකච්ඡා සාර්ථක වුවහොත්, ඉදිරි සති කිහිපය තුළ ඉරාක ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මුලාශ්‍රය – FlightRadar24 / Reuters / Airlineratings














