ඉරාකයේ පැවති දීර්ඝකාලීන දේශපාලන අර්බුදය නිමා කරමින්, එරට පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා ලෙස නිසාර් අමෙඩි (Nizar Amedi) තෝරා පත් කරගෙන තිබේ. කුර්දිස්තාන් දේශප්‍රේමී සංගමය (PUK) නියෝජනය කළ 58 හැවිරිදි අමෙඩි මහතා, පාර්ලිමේන්තුවේ පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේදී ඡන්ද 227ක් ලබාගනිමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව, 2003 වසරේ සදාම් හුසේන්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු ඉරාකයේ 6 වන රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.
ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුව ඇමතූ නිසාර් අමෙඩි මහතා, “ඉරාකය ප්‍රථම ස්ථානයට” යන මූලධර්මය මත පිහිටා කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් අතර මෑතකදී ඉරාකයට එල්ල වූ විදේශීය ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දුටුවේය. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ යුධමය වාතාවරණයෙන් පසු ප්‍රකාශයට පත් වූ සටන් විරාමය හමුවේ මෙම පත්වීම සිදුවීම විශේෂත්වයකි. මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකු සහ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති ඔහු අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.
ජනාධිපතිවරයා පත්වීමත් සමඟ දැන් වැඩි අවධානයක් යොමුව ඇත්තේ බලගතු අගමැති ධුරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම කෙරෙහි වන අතර, ‘සංවිධාන රාමුව’ (Coordination Framework) සන්ධානය විසින් හිටපු අගමැති නූරි අල් මලිකිගේ නම ඒ සඳහා යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, අල් මලිකි අගමැති වුවහොත් ඉරාකයට ලබාදෙන සහයෝගය නතර කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබීම නිසා ඉදිරි දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. ව්‍යවස්ථාවට අනුව අගමැති අපේක්ෂකයෙකු නම් කිරීම සඳහා නව ජනාධිපතිවරයාට දින 15ක කාලයක් හිමිවෙයි.














