ඉරාන යුදමය වාතාවරණය අවසන් වී හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වුවහොත්, සතියක් වැනි කෙටි කාලයක් තුළ සිය බොරතෙල් අපනයනය දිනකට බැරල් මිලියන 3.4 දක්වා ඉහළ නැංවීමට හැකියාව පවතින බව ඉරාකයේ බස්රා තෙල් සමාගමේ (Basra Oil Company) ප්‍රධානී බසෙම් අබ්දුල් කරීම් මහතා පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම හේතුවෙන් ඉරාකයේ තෙල් නිෂ්පාදනය සියයට 80කින් පමණ පහත වැටී ඇති අතර, විකල්ප අපනයන මාර්ග නොමැති වීම නිසා ගල්ෆ් කලාපයේ වැඩිම ආර්ථික බලපෑම එල්ල වූ රට බවට ඉරාකය පත්ව තිබේ.
පෙබරවාරි අග භාගයේදී ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ මෙම මුහුදු මාර්ගය අවහිර වීමෙන් පසු ඉරාකයේ දකුණුදිග තෙල් නිධිවල නිෂ්පාදනය දිනකට බැරල් 900,000 දක්වා සීමා කිරීමට සිදු විය. ඉරාක ටැංකි නැව්වලට එම මුහුදු සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දෙන බවට ඉරානය වාචිකව පොරොන්දු වී ඇතත්, ඒ සඳහා මෙතෙක් නිල ලිඛිත අවසරයක් ලැබී නොමැති බව ද කරීම් මහතා අවධාරණය කළේය. ලෝක තෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මර්මස්ථානය විවෘත කිරීම ලෝක බලශක්ති වෙළඳපොළේ ස්ථාවරත්වයට අතිශය වැදගත් වනු ඇත.














