අයර්ලන්තය පුරා දින පහක් තිස්සේ පවතින දැඩි ඉන්ධන විරෝධතා සහ මාර්ග අවහිරතා හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව තීරණ ගැනීම සඳහා අද (12) විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වන බව අයර්ලන්ත අග්‍රාමාත්‍ය (Taoiseach) මයිකල් මාර්ටින් ප්‍රකාශ කළේය. රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් සිය ගණනක ඉන්ධන අවසන් වී ඇති අතර, ගොවීන් සහ ප්‍රවාහන අංශයේ නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කිරීමට නියමිතය.
ගෝලීය තෙල් අර්බුදය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව මෙම විරෝධතා ක්‍රියාත්මක වේ. පිරිපහදු සහ වරාය අවහිර කරමින් සිදුකරන මෙම විරෝධතා නීති විරෝධී බවත්, රට ප්‍රාණ ඇපයට තබා ගැනීමට ඉඩ නොදෙන බවත් පොලිස් කොමසාරිස් ජස්ටින් කෙලී අනතුරු අඟවා ඇත. තෙල් ටැංකි රථ රියදුරන්ට තර්ජනය කරන පුද්ගලයින්ට එරෙහිව වසර 10ක සිරදඬුවම් පැමිණවිය හැකි බව පවසන ඔහු, වහාම මෙම අවහිරතා නතර කරන ලෙසට නියෝග කර තිබේ.
අර්බුදය හමුවේ ගිලන් රථ සහ ගිනි නිවන සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන්ට ද ඉන්ධන ලබා ගැනීම දුෂ්කර වී ඇති බව ජාතික හදිසි සම්බන්ධීකරණ කණ්ඩායම (NECG) අනාවරණය කරයි. රජය විසින් ඉන්ධන සහන පැකේජයක් හඳුන්වා දීමට සූදානම් වන අතර, විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර මෙම අර්බුදය වහාම සමනය කරන ලෙස එරට විපක්ෂ නායිකා මේරි ලූ මැක්ඩොනල්ඩ් රජයෙන් ඉල්ලා සිටී.













