ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී බෙහ්නාම් රෙසායි (Behnam Rezai) ගේ මරණය එම බලකාය විසින් අද (03) නිල වශයෙන් තහවුරු කර තිබේ. පසුගිය මාර්තු 26 වනදා ඔහුව ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් මෙහෙයවූවක් බවත් විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කලාපීය රටවල බුද්ධි තොරතුරු රැස්කිරීම සහ ඉරාන නාවික හමුදාවේ උපායමාර්ගික මෙහෙයුම් සඳහා බෙහ්නාම් රෙසායි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් වේ. එමෙන්ම විවිධ ජාත්‍යන්තර බුද්ධි සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ද ඔහු නායකත්වය ලබා දී තිබේ. මධ්‍යම පෙරදිග කලාපයේ පවතින දැඩි යුධමය වාතාවරණය හමුවේ ඉරාන ආරක්ෂක අංශවල ඉහළ පෙළේ නිලධාරියෙකු මෙලෙස මියයාම එරට බුද්ධි අංශ පද්ධතියට එල්ල වූ ප්‍රබල පහරක් ලෙස සැලකේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉරානය සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, එයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ද ඉඟි පළ කර තිබේ. මේ වන විටත් කලාපය පුරා පවතින උණුසුම් තත්ත්වය මෙම සිදුවීමත් සමඟ තවදුරටත් වර්ධනය වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.














