පසුගිය මාර්තු 04 වැනිදා ගාල්ල මුහුදු සීමාවට නුදුරින් අමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයෙන් විනාශ වූ ‘IRIS Dena’ නම් ඉරාන යුද නෞකාවේ කොටස් සහ තෙල් පැල්ලම් අද (07) උදෑසන සිට හික්කඩුවේ සිට සීනිගම දක්වා වෙරළ තීරයට ගොඩගසා තිබේ. යුද ගැටුම් මැද සිදුවූ මෙම විනාශයේ ප්‍රතිවිපාක දැන් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට ද බලපා ඇති බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදි වෙරළ තීරය පුරා දැඩි ඩීසල් ගන්ධයක් පවතින අතර, තෙල් පැල්ලම් හේතුවෙන් මත්ස්‍යයන් විශාල වශයෙන් මියගොස් වෙරළට ගොඩගසා ඇත. මෙම තත්ත්වය හේතුවෙන් හික්කඩුව ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ද විශාල ලෙස අඩු වී ඇති අතර, වෙරළ පිරිසිදු කිරීමට සහ පරිසර හානිය අවම කිරීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතු බව ජනතාව අවධාරණය කරති.
අදාළ නෞකාව ගාල්ලේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් (ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපය තුළ) ගිලී ගිය අතර, ඉන් මියගිය නාවිකයන් 87 දෙනෙකුගේ සිරුරු මේ වන විටත් සොයාගෙන තිබේ. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ නෞකාවේ තිබූ ඉන්ධන මෙලෙස වෙරළට ගොඩගැසීමට පටන් ගෙන ඇති බව නාවික අංශ සැක පළ කරයි.














