දීර්ඝ වසර 6ක නිහැඬියාවකට පසුව මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැඩි අවධානය දිනාගත් “Ironman 70.3 Colombo” ජාත්‍යන්තර තරගාවලිය ඊයේ (22දා) කොළඹදී ඉතා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ලෝක සිතියම තුළ යළිත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය, මෙරට ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයේ (Sports Tourism) නව පිම්මක් ලෙස විද්වතුන් පෙන්වා දෙයි.
තරගාවලිය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. මෙම ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියට ලොව පුරා රටවල් රැසක් නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450කට අධික පිරිසක් සහභාගී වූ අතර, දේශීය ක්‍රීඩකයන් ද විශාල පිරිසක් සිය ශක්තිය උරගා බැලීම සඳහා මෙවර එක්ව සිටීම විශේෂත්වයකි.
Ironman 70.3 යනු ලොව අපහසුම සහ ජනප්‍රියතම ට්‍රයටලන් (Triathlon) තරගාවලියක් වන අතර, එය කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම හරහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සංචාරක ආකර්ෂණය පිළිබඳ ජාත්‍යන්තරයට ප්‍රබල පණිවුඩයක් නිකුත් කිරීමට මෙරට බලධාරීන් සමත් වී ඇත. තරගාවලිය නිමාවීමත් සමඟ ලැබුණු ඉහළ ප්‍රතිචාර මත ඉදිරි වසරවලදී ද මෙවැනි ජාත්‍යන්තර තරගාවලි මෙරටට ගෙන්වා ගැනීමට රජය සැලසුම් කරමින් පවතී.














