ඉරානය ආශ්‍රිතව පවතින උණුසුම්කාරී දේශපාලනික වාතාවරණය සහ කලාපීය ගැටුම් සමනය කිරීම අරමුණු කරගත් තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් හෙට (29) පකිස්ථානයේදී ආරම්භ වීමට නියමිතය. පකිස්ථාන විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල විදේශ අමාත්‍යවරුන් මෙම විශේෂ හමුව සඳහා ඉස්ලාමාබාද් අගනුවරට පැමිණෙන බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.
හෙට සහ අනිද්දා (30) යන දෙදින පුරා පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී ඉරානය සම්බන්ධයෙන් පවතින වත්මන් යුදමය තත්ත්වය පාලනය කිරීම සහ මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ගත හැකි ඒකාබද්ධ පියවර පිළිබඳව අවධානය යොමු කෙරේ. කලාපීය බලවතුන් කිහිපයක් එකම මේසයකට පැමිණෙන මෙම හමුව මැදපෙරදිග සාමය උදෙසා ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














