අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි යුදමය නොසන්සුන්තාව සමනය කිරීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා වටයක් මේ සති අන්තයේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි අද (2026 මාර්තු 25) තහවුරු කළේය. විදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම සාකච්ඡා වටය පෙර වතාවලට වඩා බෙහෙවින් පුළුල් පරාසයක විහිදෙනු ඇති බව පෙන්වා දෙන ග්‍රොසි මහතා, මෙවර සාකච්ඡා පරමාණුක බලශක්ති කරුණුවලට පමණක් සීමා නොවන බව ද අවධාරණය කළේය. ඒ අනුව කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන මිසයිල පද්ධති භාවිතය සහ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය පාලනය කිරීම මෙන්ම දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ආරක්ෂක සහතික ලබා දීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු කෙරෙනු ඇත.
මීට අමතරව පාකිස්ථානය සහ තුර්කිය මැදිහත් වී ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම සැලැස්ම සහ එහි සටන් විරාම කොන්දේසි පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමට ද මෙම හමුවේදී නියමිතය. මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නාවික බාධාවන් ඉවත් වීමටත්, එමඟින් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ස්ථාවර වීමටත් විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනටමත් මෙම යෝජනා සලකා බලමින් සිටින අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති මෝදි අතර අද පැවැති සාකච්ඡාව ද මෙම සාම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වී තිබේ.














