ඉරාන යුද්ධය නිමා කිරීමේ අරමුණින් පකිස්ථානය, තුර්කිය, ඊජිප්තුව සහ සවුදි අරාබිය යන රටවල සහභාගීත්වයෙන් ඉස්ලාමාබාද් නුවර පැවති තීරණාත්මක සාකච්ඡා වටය අද (29) සාර්ථකව අවසන් විය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ ඉරානය විසින් වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැව් ගමනාගමනය සඳහා නැවත විවෘත කිරීමේ යෝජනාවලියක් කෙරෙහිය. ලෝක තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු මාර්ගය අවහිර වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මෙම සාකච්ඡාවලදී තුර්කිය, ඊජිප්තුව සහ සවුදි අරාබිය එක්ව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය කළමනාකරණය කිරීම සඳහා විශේෂ සංමුඛ මණ්ඩලයක් (Consortium) පිහිටුවීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා පකිස්ථානයේ සහාය ද ඉල්ලා ඇත. ඊජිප්තුව විසින් ඉදිරිපත් කරන ලද සූවස් ඇල මාදිලියේ ගාස්තු ක්‍රමවේදයක් ද ඇතුළත් මෙම යෝජනාවලිය දැනටමත් ඇමරිකානු ධවල මන්දිරය වෙත යොමු කර ඇති බව වාර්තා වේ. පකිස්ථාන හමුදාපති ජෙනරාල් අසීම් මුනීර් මහතා මේ සම්බන්ධයෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බව ද සඳහන් වේ.
මේ අතර, පකිස්ථාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් මහතා සඳහන් කළේ පකිස්ථාන ධජය සහිත තවත් නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය අවසර ලබා දී ඇති බවයි. තුර්කි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසන්නේ සිය ප්‍රමුඛතාවය කලාපය තුළ වහාම සටන් විරාමයක් ඇති කිරීම බවයි. ඉරානය, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින මෙම ගැටුම සමනය කිරීමට පකිස්ථානය ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.














