ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ‘ටොෆිග් දාරු’ (Tofigh Daru) ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඉලක්ක කර ඊශ්‍රායලය අද (01) අලුයම ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. මෙම කර්මාන්තශාලාව මගින් ඉරාන රජයේ රසායනික අවි වැඩසටහන සඳහා ‘ෆෙන්ටැනයිල්’ නමැති ප්‍රබල මත්කාරක ඖෂධය සපයන බවට ඊශ්‍රායලය චෝදනා කර සිටියි.
ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ, අදාළ කර්මාන්තශාලාව මගින් ඉරානයේ ‘SPND’ නමැති උසස් පර්යේෂණ ආයතනය වෙත ෆෙන්ටැනයිල් සපයා ඇති බවයි. මෙම ආයතනය න්‍යෂ්ටික සහ රසායනික අවි නිපදවීමට අදාළ පර්යේෂණ සිදුකරන බවට අමෙරිකාව ද මීට පෙර චෝදනා කර තිබුණි. සාමාන්‍යයෙන් රෝහල්වල දැඩි වේදනා නාශකයක් ලෙස භාවිත කරන ෆෙන්ටැනයිල්, ඉතා සුළු ප්‍රමාණයක් ශරීරගත වීම පවා මාරාන්තික විය හැකි අතර එය රසායනික අවියක් ලෙස භාවිත කිරීමේ අවදානමක් පවතින බව ඊශ්‍රායලය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය ලැජ්ජාවක් නොමැතිව සාමාන්‍ය රෝහල් ඖෂධ නිපදවන මධ්‍යස්ථාන වෙත බෝම්බ හෙළන බවයි. පෙබරවාරි 28 වනදා සිට ආරම්භ වූ අමෙරිකා – ඉරාන යුදමය වාතාවරණය මධ්‍යයේ මෙවැනි උපායමාර්ගික ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ කලාපීය නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී තිබේ.














