ලෙබනනයේ බීරූට් අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදාව අද (12) එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ලෙබනන ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි. ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිල වාර්තාවලට අනුව, බීරූට් නගරයේ වෙරළ තීරය (Waterfront) ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 28 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන් වේ.
අගනුවරට පමණක් නොව, බීරූට් නගරයට කිලෝමීටර් 10ක් පමණ දකුණින් පිහිටි කඳුකර ප්‍රදේශයක් වන ‘අරමුන්’ (Aramoun) නගරයට ද ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇත. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර මාලාවත් සමඟ බීරූට් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල වැසියන් දැඩි භීතියට පත්ව ඇති අතර, බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පලායමින් සිටින බව වාර්තා වේ.
ඊශ්‍රායලය පවසන්නේ හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කළ බව වුවද, ජනාකීර්ණ වෙරළ තීරයට සහ නේවාසික ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල පිරිසක් ගොදුරු වී ඇති බව ලෙබනන බලධාරීන් අවධාරණය කරයි. මැදපෙරදිග කලාපය පුරා යුද ගිනි ඇවිළෙමින් පවතින පසුබිමක, ලෙබනනය ඉලක්ක කරගත් මෙම ප්‍රහාර දෛනිකව තීව්‍ර වෙමින් පවතින බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














