ලෙබනනය, ඉරානය සහ ගාසා තීරය යන පෙරමුණු තුනක එකවර යුද මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල හමුදාව, බටහිර ඉවුරේ (West Bank) සිදුවන අන්තවාදී පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩක්‍රියා පාලනය කිරීම සඳහා ද සිය සේනාංක යෙදවීමට සිදුවීමෙන් දැඩි පිරිස් බල හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එයාල් සමීර් (Eyal Zamir) අනතුරු අඟවා ඇත්තේ, පවතින පිරිස් හිඟය හමුවේ හමුදා පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි.
දැනට පවතින තත්ත්වය අනුව ඊශ්‍රායල හමුදාවට සොල්දාදුවන් 15,000ක පමණ හිඟයක් පවතින අතර, ඉන් 8,000ක්ම සෘජු සටන් මෙහෙයුම් සඳහා අවශ්‍ය සෙබළුන් වේ. ඊශ්‍රායලයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනාට හමුදා සේවය අනිවාර්ය වුවද, ජනගහනයෙන් 15%ක් පමණ වන අන්ත ඕතඩොක්ස් යුදෙව්වන් (Haredim) හමුදා සේවයෙන් නිදහස් කර තිබීම මෙම පිරිස් හිඟයට ප්‍රධාන හේතුවක් වී තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ හවුල්කාර ආණ්ඩුව නියෝජනය කරන මෙම පිරිස්වල සහාය අහිමි වේ යැයි බියෙන්, ඔවුන්ට හමුදා සේවය අනිවාර්ය කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැත.
තවද, දීර්ඝ කාලයක් යුද පිටියේ රැඳී සිටින සංචිත සෙබළුන් (Reservists) තමන්ට ලැබෙන දීමනා ප්‍රමාණවත් නොවන බවට මැසිවිලි නගන අතර, එය හමුදාවේ අභ්‍යන්තර ස්ථාවරත්වයට ද බලපා තිබේ. කලාපීය යුද්ධය උත්සන්න වන අවස්ථාවක, අභ්‍යන්තර දේශපාලන ගැටලු සහ පිරිස් බල හිඟය කළමනාකරණය කර ගැනීම ඊශ්‍රායල රජය හමුවේ ඇති විශාලතම අභියෝගය බව ආරක්ෂක විචාරකයෝ පෙන්වා දෙති.














