ඉරානය වෙත එල්ල කළ ඒකාබද්ධ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමත් සමඟ පසුගිය සෙනසුරාදා වසා දැමූ ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන් තොටුපළ වන බෙන් ගුරියන් (Ben Gurion) ගුවන් තොටුපළ දින පහකට පසු අද (05) යළි විවෘත කර තිබේ. ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදියර කිහිපයක් යටතේ ගුවන් සීමාවන් විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව ගුවන් සීමාව වසා දැමීම නිසා විදෙස් රටවල සිරවී සිටි 100,000කට අධික ඊශ්‍රායල ජාතිකයින් යළි ගෙන්වා ගැනීම සඳහා එරට ගුවන් සේවාවන් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ. අද උදෑසන ග්‍රීසියේ ඇතැන්ස් නුවර සිට පැමිණි ප්‍රථම ගුවන් යානය බෙන් ගුරියන් ගුවන් තොටුපළ වෙත ගොඩබස්වන ලදී.
ගුවන් තොටුපළ විවෘත කළ ද මැදපෙරදිග යුදමය තත්ත්වය තවමත් උච්චතම අවස්ථාවක පවතී. ඊයේ රාත්‍රියේ ද ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර හයවන දිනටත් දෙපාර්ශවය අතර ගුවන් ප්‍රහාර හුවමාරු වෙමින් පවතී. ටෙල් අවිව් සහ ජෙරුසලම් නගරවල ගුවන් ප්‍රහාරක සීරුවෙන් තැබීමේ සංඥා නිකුත් වූ අතර, ඉරානයෙන් එල්ල වූ මිසයිල ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කරන අවස්ථාවේදී විශාල පිපිරීම් හඬවල් ඇසුණු බව වාර්තා වේ. කෙසේ වෙතත් එම ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉරානයේ මිසයිල ගබඩා සහ දියත් කිරීමේ මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර සාර්ථක වී ඇති බැවින්, ඉරානයෙන් එල්ල වන ප්‍රහාරයන්හි යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් සිවිල් වැසියන් සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් ලිහිල් කිරීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එහෙත් ලෙබනනයේ හෙස්බොල්ලා බලකොටු ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර තීව්‍ර කර ඇති අතර, නවතම ගැටුම් හේතුවෙන් ලෙබනනයේ වැසියන් 80,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව ලෙබනන බලධාරීහු පවසති.
ඉරානයේ අගනුවර වන ටෙහෙරානයෙන් ද අද දිනයේ විශාල පිපිරීම් හඬවල් වාර්තා වූ අතර අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටී. එමිරේට්ස් වැනි ප්‍රධාන පෙළේ ගුවන් සේවාවන් කලාපීය ගුවන් ගමන් සීමා කර ඇති පසුබිමක, ඊශ්‍රායලය සිය ගුවන් තොටුපළ විවෘත කිරීම ලෝක නාවික හා ගුවන් ගමනාගමන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම යුද්ධය දැන් ආසියානු කලාපයට ද බලපෑම් එල්ල කරමින් පවතී.














