ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුවේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවත්, ඔහුගේ දේහය හමු වී ඇති බවත් ඊශ්‍රායලයේ ‘N12’ පුවත් සේවය සහ තවත් විදෙස් මාධ්‍ය කිහිපයක් රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කර තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ, උත්තරීතර නායකයා “තවදුරටත් ජීවතුන් අතර නොසිටින බවට” (No longer alive) බොහෝ සලකුණු පවතින බවයි.
ටෙහෙරාන් නුවර පිහිටි උත්තරීතර නායකයාගේ නිල නිවාස සංකීර්ණයට බෝම්බ 30ක් පමණ හෙළා ඇති බවත්, එම ස්ථානයේ තිබූ භූගත බංකරයක සිටියදී ඔහු මියගිය බවත් එම වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත්, ඉරාන රජය මෙම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තම නායකයා ආරක්ෂිත ස්ථානයක සිට රටේ මෙහෙයුම් මෙහෙයවන බවයි. කමේනිගේ අභාවය නිල වශයෙන් තහවුරු වුවහොත් එය වසර 40කට වැඩි ඉරාන පාලන තන්ත්‍රයේ විශාලතම බිඳවැටීම වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.














