ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඝාතනය කිරීමේ අරමුණින් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ ඉරාන බුද්ධි අංශ වෙනුවෙන් ඔත්තු බැලීම යන චෝදනා මත හයිෆා (Haifa) නුවර පදිංචි ගයිඩ්‍රොව් (Geidrov) නමැති ඊශ්‍රායල ජාතිකයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025 අගෝස්තු මාසයේදී ඉරාන ඔත්තු සේවා විසින් මොහු බඳවාගෙන ඇති අතර, විවිධ මෙහෙයුම් වෙනුවෙන් ඔහුට විශාල මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.
පවතින යුද වාතාවරණය මධ්‍යයේ හයිෆා වරාය සහ උතුරු ඊශ්‍රායලයේ මිසයිල ප්‍රහාර එල්ල වූ ස්ථාන ඡායාරූපගත කිරීමටත්, වරාය දෙස නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි කැමරා සවිකිරීම සඳහා නිවසක් කුලියට ගැනීමටත් මොහු කටයුතු කර ඇත. මෙම සිදුවීම හුදෙකලා සිද්ධියක් නොවන අතර, පසුගිය සතිය තුළ පමණක් ඉරානයට ඔත්තු සැපයීමේ චෝදනා මත ඊශ්‍රායල සක්‍රීය සේවයේ නියුතු සෙබළුන් සිව්දෙනෙකු සහ ජෙරුසලම් වැසියෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ බුද්ධි අංශය ලොව බලවත්ම ඒකකයක් ලෙස සැලකුවද, ඉරානය විසින් ඊශ්‍රායල පුරවැසියන්ම යොදාගනිමින් එරට තුළ ප්‍රබල ඔත්තු සේවා ජාලයක් පවත්වාගෙන යන බව මෙම අත්අඩංගුවට ගැනීම් මගින් තහවුරු වන බව විචාරකයෝ පෙන්වා දෙති.
මුලාශ්‍රය – @MarioNawfal / Rerum Novarum / Times of Israel














