ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ක්‍රියාත්මක “සිංහ ගර්ජනා” (Operation Roaring Lion) මෙහෙයුම ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල ජාතිකයන් 1,929 දෙනෙකු රෝහල්ගත කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (08) පස්වරුවේ නිවේදනය කළේය. මෙරට වේලාවෙන් අද උදෑසන 7 වන විට නිකුත් වූ දත්ත වලට අනුව, ඉන් 122 දෙනෙකු තවමත් රෝහල් ප්‍රතිකාර ලබන අතර 9 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
පසුගිය පැය 24 තුළ පමණක් පුද්ගලයන් 157 දෙනෙකු අලුතින් රෝහල් කරා පැමිණ ඇති අතර, ඉන් බහුතරයක් සුළු තුවාල ලැබූවන් සහ දැඩි මානසික කම්පනයට (Anxiety) පත් වූවන් වේ. මිසයිල ප්‍රහාර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබුණු විගස, කලබල නොවී ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසත්, විශේෂයෙන්ම වැඩිහිටියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට අසල්වැසියන්ගේ සහය ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. බොහෝ තුවාල සිදුව ඇත්තේ ප්‍රහාරවලට වඩා ආරක්ෂිත ස්ථාන කරා දිවීමේදී සිදුවන ඇද වැටීම් වැනි අනතුරු නිසා බව නිරීක්ෂණය වී තිබේ.
යුද වාතාවරණය මධ්‍යයේ වුවද, හදිසි නොවන බාහිර රෝගී සේවා සහ සැත්කම් ආරක්ෂිත භූගත වාට්ටු (Underground wards) තුළ නැවත ආරම්භ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ඕනෑම මොහොතක ඇතිවිය හැකි මහා පරිමාණ හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා සියලුම රෝහල් තවදුරටත් දැඩි සූදානමකින් පසුවන බව ද අමාත්‍යාංශය අවධාරණය කළේය.















