ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ, ඊශ්‍රායලයේ සිටින සිය පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කිරීමට (Evacuate) හෝ ඒ සඳහා සෘජු සහය ලබා දීමට දැනට හැකියාවක් නොමැති බව ජෙරුසලමේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (මාර්තු 03) නිවේදනය කළේය. පසුගිය සෙනසුරාදා සිට ඉරානය විසින් එල්ල කරන අඛණ්ඩ මිසයිල ප්‍රහාර හේතුවෙන් කලාපීය ආරක්ෂාව දැඩි ලෙස පිරිහී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති අතර, ඊශ්‍රායලයෙන් පිටවීමට බලාපොරොත්තු වන ඇමෙරිකානු පුරවැසියන් ඒ සඳහා තමන්ගේම ආරක්ෂක සැලසුම් සකස් කරගත යුතු බවට තානාපති කාර්යාලය දැඩිව අවධාරණය කරයි. ඊශ්‍රායල සංචාරක අමාත්‍යාංශය විසින් මාර්තු 02 දින සිට ‘ටාබා’ (Taba) දේශසීමාව දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කළද, එම මාර්ගවල ගමන් කරන පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීමට ඇමෙරිකානු රජයට නොහැකි බව දන්වා ඇත. ජෝර්දානය බලා යාමට අපේක්ෂා කරන පිරිස්වලට ‘ඊලට්’ (Eilat) දක්වා ගොස් එතැන් සිට කුලී රථ මගින් ‘යිට්ෂාක් රබින්’ (Yitzhak Rabin) දේශසීමාව හරහා ස්වාධීනව ගමන් කරන ලෙස උපදෙස් දී තිබේ.
මෙම යුදමය තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ සේවය කරන ලක්ෂ 10කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අද (මාර්තු 03) පෙරවරුවේ හදිසි ප්‍රතිචාර ඒකකයක් (Emergency Response Unit) පිහිටුවා ඇත. දැනට ඊශ්‍රායලයේ සේවය කරන 29,000ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් කිසිවෙකුටත් මෙතෙක් හානියක් සිදුවී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කරන අතර, ප්‍රධාන ගුවන් තොටුපළවල් වසා ඇති බැවින් ඔවුන්ට තවදුරටත් ආරක්ෂිතව එහි රැඳී සිටීමට සිදුවනු ඇත. ඕනෑම හදිසි අවස්ථාවකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ +94 117 445 641 හෝ +94 112 207 250 යන අංක මෙන්ම +94 777 189 552 යන WhatsApp අංකය ඔස්සේ සහය ලබාගත හැකිය. එසේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ද මේ සඳහා විවෘතව පවතින අතර අනවශ්‍ය ලෙස මැදපෙරදිග රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත්, දේශීය ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් රජය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.














