ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු හමුදාවට සිය භූමිය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) ජාත්‍යන්තර වශයෙන් වගකිව යුතු බව පවසමින් ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත නිල වශයෙන් කරුණු වාර්තා කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නියෝජිත අමීර් සයීඩ් ඉරවානි මහතා පවසා ඇත්තේ මෙම ක්‍රියාව හේතුවෙන් සිදුවූ සියලු හානි සඳහා එමීර් රාජ්‍යය විසින් පූර්ණ වන්දි ගෙවිය යුතු බවයි. මෙම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම උත්සන්න වී ඇත්තේ ඉරානය විසින් එමීර් රාජ්‍යයේ ‘හබ්ෂාන්’ (Habshan) ගෑස් පද්ධතියට සහ ‘බාබ්’ (Bab) තෙල් නිධියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ වන අතර අබුඩාබි පාලනය එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දී ඇත.
මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ එරට හමුදාව එක්ව ‘සත්‍ය පොරොන්දුව 4′ (Operation True Promise 4) මෙහෙයුම යටතේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය පෙබරවාරි 28 වනදා ඇමරිකානු-ඊශ්‍රායල සන්ධානය ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ. මෙතෙක් රුල්ල 63 කින් සමන්විත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති ඉරාන හමුදාව බටහිර ආසියානු කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු සහ ඊශ්‍රායල යුද මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බව ද සඳහන් වේ.
කලාපයේ අනෙක් පසින් ලෙබනන් දේශසීමාවේ ද යුදමය තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර දකුණු ලෙබනනයේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ගොඩබිම් මෙහෙයුම්වලදී හිස්බුල්ලා සාමාජිකයන් 20 කට වැඩි පිරිසක් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) ප්‍රකාශ කර ඇත. හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ටැංකි නාශක මිසයිල තර්ජන මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායල හමුදාව සිය බලඇණි තවදුරටත් ව්‍යාප්ත කරමින් සිටින අතර දකුණු ලෙබනනය තුළ ආරක්ෂිත කලාපයක් (Buffer zone) පිහිටුවීමට ද පියවර ගනිමින් සිටී. මෙම සමස්ත තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත යුද බියක් නිර්මාණය වී ඇති අතර එය ලෝක වෙළඳපොළට ද සෘජු බලපෑම් එල්ල කරමින් පවතී.














