ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) අද (අප්‍රේල් 07) උදෑසන ඉරාන වැසියන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, අද රාත්‍රී 9 (ඉරාන වේලාවෙන්) දක්වා දුම්රියෙන් ගමන් කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ. ‘X’ පණිවුඩයක් හරහා පර්සියානු භාෂාවෙන් නිකුත් කරන ලද මෙම නිවේදනය මඟින් ඉරානයේ දුම්රිය ජාලය ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී ප්‍රහාර එල්ල විය හැකි බවට ඉඟි පළ කර ඇත.
තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය භාවිතයෙන් සහ දුම්රිය මාර්ග අසල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, එසේ නොවීමෙන් ජීවිත අනතුරක් සිදුවිය හැකි බවත් ඊශ්‍රායල හමුදාව අවධාරණය කරයි. මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවක් සිය ගුවන් ආරක්ෂක පද්ධති (Air Defence Systems) මඟින් සාර්ථකව මැඩපැවැත්වූ බව ද ඊශ්‍රායලය තහවුරු කර තිබේ.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති මෙම මෙහෙයුමේ 39 වැනි දිනය අද වන අතර, ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානයේ යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට කර ඇති අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම නවතම වර්ධනයන් වාර්තා වේ. ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඊශ්‍රායල වැසියන් ද ආරක්ෂිත බංකර් (Bomb shelters) කරා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














