මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය තවදුරටත් දැඩි කරමින්, ඉරානය විසින් පත් කරනු ලබන ඕනෑම නායකයෙකු කිසිදු සැකයකින් තොරව ඊශ්‍රායලයේ ප්‍රහාරක ඉලක්කයක් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් (Israel Katz) ප්‍රකාශ කර තිබේ. ඉරානයේ ඉහළ පෙළේ නායකත්වය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය සහ අමෙරිකාව දියත් කරන ‘ඔපරේෂන් එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම මධ්‍යයේ ආරක්ෂක අමාත්‍යවරයා මෙම දැඩි ප්‍රකාශය සිදු කර ඇත. ඉරානයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීම ඊශ්‍රායලයේ සහ එහි මිත්‍ර පාර්ශවයන්ගේ අරමුණ වී තිබේ.
මෙම ප්‍රකාශයත් සමඟ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඔබ්බට ගොස් පූර්ණ පරිමාණයේ යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් මතු වී ඇත. ඉරාන ඉහළ නායකත්වය විනාශ කිරීම හරහා එරට හමුදා සහ මහජන ව්‍යාපාර දුර්වල කිරීමට ඊශ්‍රායලය අපේක්ෂා කරන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා ඇත්තේ ඉරානය දැන් සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කළද එයට දැන් ප්‍රමාද වැඩි බවයි.
ඊශ්‍රායලයේ මෙම දැඩි ස්ථාවරය හමුවේ ඉරානය සිය මීළඟ පියවර ලෙස න්‍යෂ්ටික අවි භාවිතයට යොමු විය හැකි බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති. මේ වන විටත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති ඉරානය, කලාපයේ පවතින ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත දිගින් දිගටම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඊශ්‍රායලයේ මෙම ප්‍රහාරක සැලසුම් නිසා මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවදානමක් මතුව තිබේ.














