ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමේ මෙහෙයුම පිටුපස ඊශ්‍රායලය සිටි බවත්, ඉරානය තුළ පැවති අභ්‍යන්තර නොසන්සුන්තා හමුවේ එම සැලසුම කඩිනම් කිරීමට පියවර ගත් බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර තිබේ. මුලින් මෙම මෙහෙයුම 2026 වසරේ මැද භාගයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද, ඉරාන විරෝධතා මාලාව සැලකිල්ලට ගෙන එය ජනවාරි මාසයේදීම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.
ඉරානයේ උත්තරීතර නායකයා මියගිය බවට වන පුවත එරට රජයට හිතවාදී තස්නිම් (Tasnim) සහ ෆාර්ස් (Fars) පුවත් සේවා විසින් පසුගිය මාර්තු 01 වැනිදා නිල වශයෙන් තහවුරු කරන ලදී. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සෘජුවම වගකීම පිළිගැනීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය තවදුරටත් උච්චතම ස්ථානයකට පැමිණ ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
උත්තරීතර නායකයාගේ අභාවයෙන් පසු ඉරානයේ බල අරගලය සහ ඊශ්‍රායලයේ මෙම හෙළිදරව්ව හමුවේ කලාපීය ආරක්ෂාව පිළිබඳව ලෝක බලවතුන් දැඩි විමසිල්ලෙන් පසුවේ.














