ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අඩි 23ක් උසැති යෝධ අනුරුවක් ස්පාඤ්ඤයේ එල් බර්ගෝ (El Burgo) නගරයේදී වෙඩි බෙහෙත් යොදා පුපුරවා හැරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය දැඩි විරෝධය පළ කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය ටෙල් අවිව්හි සිටින ජ්‍යෙෂ්ඨතම ස්පාඤ්ඤ රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවා දෝෂාරෝපණය කර ඇති අතර, මෙය ස්පාඤ්ඤ රජය විසින් ක්‍රමානුකූලව සිදුකරන යුද විරෝධී උසිගැන්වීම්වල ප්‍රතිඵලයක් බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පවසයි.
එල් බර්ගෝ නගරයේ වාර්ෂිකව පැවැත්වෙන සම්ප්‍රදායික උත්සවයකදී මෙම අනුරුව පුපුරවා හැර ඇති අතර, මීට පෙර අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැඩිමීර් පුටින්ගේ අනුරූ ද මෙලෙස පුපුරවා හැර ඇති බව එම නගරයේ නගරාධිපතිනිය ප්‍රකාශ කළාය. කෙසේ වෙතත්, ඊශ්‍රායලය චෝදනා කරන්නේ මෙය යුදෙව් විරෝධී (Antisemitic) ක්‍රියාවක් බවයි. ස්පාඤ්ඤ රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා සිටින්නේ තමන් ඕනෑම ආකාරයක වෙනස්කොට සැලකීමකට හෝ වෛරී ප්‍රකාශවලට එරෙහි බවයි.
ස්පාඤ්ඤය සහ ඊශ්‍රායලය අතර පවතින මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය ගාසා සහ ලෙබනන යුද්ධය මුල් කරගනිමින් කාලයක සිට වර්ධනය වෙමින් පවතී. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ඉරාන සහ ලෙබනන යුද්ධයේ ප්‍රධාන විවේචකයෙකු බවට පත්ව සිටින අතර, ඊශ්‍රායලයට ආයුධ රැගෙන යන ගුවන් යානා සහ නැව් සඳහා ස්පාඤ්ඤ ගුවන් සීමාව සහ වරායන් භාවිතා කිරීම ද තහනම් කර ඇත. මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ස්පාඤ්ඤයේ ස්ථාවරය වී තිබේ.













