ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ ඔහුගේ සොහොයුරු ඉඩෝ නෙතන්යාහු (Iddo Netanyahu) ඉරාන මිසයිල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන වාර්තා පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව තහවුරු වී තිබේ. ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවත් සමඟ මෙම ව්‍යාජ පුවත් (Hoax) සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, ඇතැම් වාර්තාවල සඳහන් වූයේ ටෙල් අවිව් නුවරට එල්ල වූ ප්‍රහාරයකින් ඉඩෝ නෙතන්යාහු මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත්, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂිතව පසුවන බවත් නිල තොරතුරු අනාවරණය කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ඉරාන හිටපු අයතුල්ලා කිමේනි ඝාතනය වීමෙන් පසු ඇරඹි ‘රෝරිං ලයන්’ (Operation Roaring Lion) මෙහෙයුම අතරතුර නෙතන්යාහු ඊශ්‍රායලයෙන් පලාගොස් ඇති බවට ද මීට පෙර කටකතා පැතිර ගියේය. එහෙත් එම කටකතා අසත්‍ය කරමින් අග්‍රාමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා (මාර්තු 09) එරට ප්‍රධානතම වරාය වන අෂ්ඩොඩ් (Ashdod) වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර, එහිදී ඔහු ප්‍රවාහන අමාත්‍ය මිරි රෙගෙව් සමඟ සාකච්ඡා පවත්වන අයුරු ද මාධ්‍ය වාර්තා කළේය. යුදමය වාතාවරණය හමුවේ දේශපාලන නායකයින් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන මෙවැනි මඩ ප්‍රහාර සහ අසත්‍ය ප්‍රචාරයන්ට හසු නොවන ලෙස බලධාරීන් ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි.















