ඉරාන යුද්ධය හේතුවෙන් කලාපීය ආරක්ෂාව අස්ථාවර වී ඇති පසුබිමක, පලස්තීනුවන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව මරණ දඬුවම් නීතිය මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රධාන රටවල් අටක දැඩි විවේචනයට ලක්ව තිබේ. පකිස්තානය විසින් අද (02) නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයකට අනුව, මෙම පියවර කලාපීය සාමයට එල්ල වූ දැඩි තර්ජනයක් ලෙස එම රටවල් හඳුන්වා දී ඇත.
පකිස්තානය, තුර්කිය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබා ඇත. හමුදා අධිකරණ මගින් වැරදිකරුවන් කරනු ලබන පලස්තීනුවන්ට එල්ලුම්ගහ හරහා මරණ දඬුවම ලබාදීම අනිවාර්ය කරමින් ඉශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) පසුගිය සඳුදා (මාර්තු 30) මෙම මතභේදාත්මක නීතිය සම්මත කරගත්තේය. ඉශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර් (Itamar Ben-Gvir) මෙම ජයග්‍රහණය උත්සවශ්‍රීයෙන් සමරන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මුස්ලිම් රටවල් පවසන්නේ, වත්මන් යුදමය වාතාවරණය හමුවේ මෙවැනි අන්තවාදී තීරණ ගැනීමෙන් පවතින ගැටුම් තවදුරටත් ඇවිලී යා හැකි බවයි. විශේෂයෙන්ම ඉරාන යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා හේතුවෙන් ලෝකයම පීඩාවට පත්ව සිටින මොහොතක, ඉශ්‍රායලය විසින් ගනු ලැබූ මෙම පියවර මානුෂීය අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔවුන් අවධාරණය කරයි. ජාත්‍යන්තර ප්‍රජාව වහාම මැදිහත් වී මෙම තත්ත්වය සමනය කිරීමට කටයුතු කළ යුතු බව ද අදාළ ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














