ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මියගොස් හෝ තුවාල ලබා ඇති බවත්, දැනට වීඩියෝ දර්ශනවල පෙනී සිටින්නේ කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ඔහුට සමාන රූපයක් (Double) බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. එක්තරා වීඩියෝවක නෙතන්යාහුගේ අතේ ඇඟිලි හයක් පෙනෙන්නට තිබීම මෙම සැකයට ප්‍රධාන හේතුව වී ඇත. සාමාන්‍යයෙන් AI මගින් නිර්මාණය කරන රූපවල මෙවැනි දෝෂ (Glitches) පවතින බව පවසමින් මිලියන පහකට අධික පිරිසක් එම පුවත නරඹා තිබුණි.
කෙසේ වෙතත්, ඩිජිටල් වෝහාරික පරීක්ෂකයින් (Digital forensics researchers) පෙන්වා දෙන්නේ එය ආලෝකයේ පරාවර්තනයක් නිසා ඔහුගේ අල්ලේ කොටසක් අමතර ඇඟිල්ලක් ලෙස දිස්වීමක් මිස AI නිර්මාණයක් නොවන බවයි. වර්තමානය වන විට AI තාක්ෂණය ඉතා දියුණු වී ඇති බැවින්, ඇඟිලි ප්‍රමාණයේ දෝෂ සහිත රූප දැන් නිර්මාණය නොවන බව ද ඔවුන් අවධාරණය කරයි.
බටහිර ආසියානු යුද වාතාවරණය තුළ සත්‍ය සහ අසත්‍යය වෙන් කර හඳුනා ගැනීම ඉතා අපහසු වී ඇති අතර, මෙම සැකය දුරු කිරීම සඳහා නෙතන්යාහු මහතා පසුගියදා කෝපි හලක සිට ලබාගත් වීඩියෝවක් ද ප්‍රසිද්ධ කර තිබුණි. යුදමය වාතාවරණයකදී මෙවැනි “Deepfakes” සහ අසත්‍ය ප්‍රචාරයන් (Propaganda) මගින් මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කිරීම ලෝක මට්ටමේ බරපතල අභියෝගයක් වී තිබේ.














