ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති හමුදාමය ක්‍රියාමාර්ග සඳහා ලෝකයේ සෙසු රටවල සහාය ලබා දෙන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද (23) විවෘත ඉල්ලීමක් කළේය. දකුණු ඊශ්‍රායලයේ අරද් (Arad) නගරයට එල්ල වූ ප්‍රහාරයකින් පසු එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
ඉරානය යනු හුදෙක් ඊශ්‍රායලයට පමණක් නොව සමස්ත ලෝක සාමයටම එල්ල වී ඇති බරපතල තර්ජනයක් බව නෙතන්යාහු මෙහිදී අවධාරණය කළේය. “ලෝක නායකයන් අප සමඟ අත්වැල් බැඳගත යුතු කාලය එළඹ තිබෙනවා. ඇතැම් පාර්ශවයන් දැනටමත් ඒ සඳහා යොමු වෙමින් පවතින බව මට පෙනෙන්නට තිබෙනවා,” යැයි පවසමින් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ඉරාන මර්දනය සඳහා සෘජුවම මැදිහත් වන ලෙසයි.
මේ වන විටත් මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමක පවතින අතර, ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෝලීය සන්ධානයක් ගොඩනැගීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි උත්සාහයක නිරතව සිටී. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යය වැනි රටවල් මෙම යුද්ධයට සෘජුව මැදිහත් වීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක නෙතන්යාහුගේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලනය තුළ දැඩි කතාබහට ලක්වනු ඇත.














