ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානයෙන් එල්ල වන ප්‍රතිප්‍රහාරවලින් ඊශ්‍රායලයට ද සැලකිය යුතු හානි සිදුවෙමින් පවතින පසුබිමක බහුතරයක් ඊශ්‍රායල වැසියන් මෙම යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යාමට සිය කැමැත්ත පළ කර ඇති බව අලුත්ම මත විමසුම් වාර්තා ඇසුරින් අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි. පෙබරවාරි 28 වැනිදා මෙම ගැටුම් ආරම්භ වූ දා සිට ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියන් 11 දෙනෙකු මියගොස් ඇති බව නිල වශයෙන් වාර්තා වුවද සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවත් ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ ආරක්ෂක පද්ධතිය බිඳ දමමින් ඉරාන මිසයිල කොපමණ ප්‍රමාණයක් එරටට කඩා වැටී ඇත්දැයි යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බවත් එම වාර්තාවල සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය පැරණි ආගමික උපුටා දැක්වීම් කරළියට ගනිමින් ඉරානය සම්පූර්ණයෙන් විනාශ කළ යුතු සතුරෙකු ලෙස හඳුන්වා දී ඇති අතර යුද්ධයට විරුද්ධ වන ක්‍රියාකාරීන්ට ඊශ්‍රායල සමාජය තුළ දැඩි අපහාස සහ තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇති බව ද වාර්තා වේ.
අනෙක් පසින් ඉරානය පවසන්නේ තමන් ටෙල් අවිව්, බෙන් ගුරියන් ගුවන් තොටුපළ සහ හයිෆා වැනි නගරවල පිහිටි හමුදා මධ්‍යස්ථාන මෙන්ම නෙතන්යාහුගේ කාර්යාලය පවා ඉලක්ක කර ගනිමින් ඉතා නිරවද්‍ය සහ උපායමාර්ගික ප්‍රහාර එල්ල කළ බවයි. ඊශ්‍රායල වැසියන් තුළ යුද්ධය සඳහා පවතින මෙම දැඩි උනන්දුව සහ දේශපාලන නායකත්වයේ දැඩි ස්ථාවරය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ සාමකාමී විසඳුමක් කරා යාමට ඇති අවස්ථාවන් තවදුරටත් අවම වෙමින් පවතින බව විදේශ විචාරකයෝ පෙන්වා දෙති.














